Monday, December 30, 2019

හරිම නෝටි හස්බන්ඩෙක්!

මේකත් බස් එකක යද්දී වුණු සිද්ධියක් ගැන කතන්දරයක්. හැබැයි අර කාලෝ ෆොන්සේකලා ගැන, චූටි ටීචර්ලා ගැන, ගර්භණී මාතාවන් ගැන, මොන්ටිසෝරි අම්මලා ගැන කියපු කතන්දර වගේ නෙමේ, තරමක් වෙනස් එකක්.

ඔන්න දැන් ටික කාලෙකට කලින්, මගේ යාලුවෙක් ලංකාවට ආවා පිටරට පස්-තාච්චි අදින්න ගිහින් ඉන්න අතරේ පොඩි නිවාඩුවකට.

ඉතිං මට ආරාධනාවක් ආවා සති අන්තයේ එහේ එන්න කියල. කොළඹින් පැය දෙකක් විතර දුර පලාතක් නිසා හවස් වෙලා ගිහින් පහුවදා එන්නයි ප්ලෑන් එක.

ඔන්න මං දවල් කෑමෙන් පස්සේ ගෙදරින් පිට වෙලා, ගෙදර ලඟින් නැග්ග බස් එකෙන් තවත් එකකටත්, ඒකේ පැය දෙකක් විතර ගිහින් තවත් එකකටත් මාරු වුණා.

මේ තුන්වෙනි බස් එක තරමක් පොඩි, අර මිට්ෂුබිෂි වර්ගයේ ආසන විසි හයේ එකක්. මං මේ බස්වලට කැමතිම නෑ, ඒ දවස්වල. මොකද, ඕවගේ යනකොට හිටගෙන යන්න වුණොත් ඉතිං බඩුම තමයි. බෙල්ල කොර වෙනවා.

මේ කතන්දර හාමිනේ හම්බ වෙන්න කලින්නේ. ඒ කාලේ මට සාමාන්‍යයෙන් අර මර්ෆි ගේ නියමය හොඳින් වැඩ කරනවා. ඒ කියන්නේ, මොකක් හරි දෙයකට කෙලවෙන්න තියෙනවා නං අනිවා, ඩෙෆා, කෙලවෙනවා කෙලවෙනවා ම යි.

කිව්වා වගේම සීට් එකක් හම්බ වුනේ ම නෑ. මොනවා කරන්නද? මේ ගමේ පාරක්. බස් තියෙන්නෙත් අඩුවෙන්. අනික දැන් හොඳටම හවස් වෙලා.

ඔන්න ඉතිං අමාරුවෙන් බස් එක ඉස්සරහට ඇදෙනවා. මම් තුමා බෙල්ල නමාගෙන සීරුවන් ගමනේ. හවස් වෙලා හින්දා දාඩිය දාන්නේත් නැති නිසා ඉතිං වැඩි අවුලක් නං නෑ.

බස් එකේ එක එක වෛයිවාරණ උදවිය. ඉඳගෙන. හිටගෙන. මං අල්ලං හිටිය සීට් එකේ වාඩිවෙලා හිටියේ සීය කෙනෙකුයි, අම්මෙකුයි, පොඩි දුවෙකුයි. දුව අම්මගේ ඔඩොක්කුවේ.

මගේ පිටි පස්සෙන් හිටියා තරමක ඇහැට කණට පේන (ඇත්තටම කොහොමද බොලේ කණට පේන්නේ?) යුවතියක්. අර ඉස්සර තිබුණ කුමරි පත්තරේ පිටකවරෙට හොඳයි එයා. ඒ කියන්නේ බිත්තියෙ අලවගන්න උනත් හොඳයි.

ඔන්න ටික දුරක් යනකොට මගේ වාසනාව පෑදුණා. අර සීයා බස් එකෙන් බහින්න නැගිට්ටා.

මං ඉතිං පස්වනක් ප්‍රීතියෙන් ඔකඳ වෙලා සීට් එකට පැන ගත්තා. තව ටික වෙලාවකින් ඒ සීට් එකේ එහා පැත්තේ හිටිය අම්මයි පොඩි දුවයි දෙන්නත් බස් එකෙන් බැස්සා. අර කුමරි පත්තරේ කවර් පේජ් යුවතිය ඔන්න මා ලඟින් වාඩි වුනා.

ඒත් ඉතිං මට ප්‍රීතියෙන් ප්‍රීතියට ගිහින් අර චූටි ටීචර්ට වගේ කලර්ස් පෙන්නන්න නං වුනේ නෑ මෙදා. මොකද මට බහින්න තිබුනේ ඊ-ලඟ බස් හෝල්ට් එකෙන්. නැවතත් මර්ෆිගේ නියමය.

ඉතිං, එදා රෑ කයිය ගහං ඉඳලා, කාලා බීල, සේරම ඉවර වෙලා මායි යාළුවයි ගියා ඒ ලඟ තිබුණු පොර ගේ අයිය ගේ ගෙදරට.

මෙන්න බොලේ එතන ඉන්නවා දැකල පුරුදු ඩයල් එකක්.

බැලින්නං, ගමේ තුන්කාලේ බස් එකේ පොඩි දුවෙක් එක්ක ආපු අම්ම තමයි මගේ යාළුවගෙ අයියගේ බිරිඳ!

"ආ, මෙයාද මේ අද එනව කියපු මල්ලිගෙ යාළුවා?" ඒ අක්ක ඇහැව්ව මාව දැක්ක ගමන්ම. "අනේ, මං ආපු බස් එකේ නේ ආවෙ, ටවුමෙ ඉඳල".

ඉතිං ටිකක් වෙලා කතා කර කර ඉඳල තරමක් හිතවත් වුණාට පස්සෙ අක්ක කියපි මෙන්න මෙහෙම.

"ටවුමෙන් බස් එකට නගින කොට මං හිතුවෙ මේ මල්ලි නෝන එක්ක ගමනක් යන කෙනෙක් කියලයි".

මාව උඩ විසිවුණා. අක්ක මේ මගේ නෝන ය කියල හිතල තියෙන්නේ අර බස් එකේ මට පිටිපස්සෙන් හිටිය සුන්දර යුවතිය ගැනයි.

"ඒත් ඉතිං, මං පුදුම වුණා, මේ මල්ලි සීට් එකක් ඉඩ ආපු ගමන්ම ඒකෙ වාඩි වුණු එක ගැන, තමන්ගෙ නෝනට සීට් එක නොදී.
මං ඇත්තටම හිතෙන් බැණ, බැණ ආවෙ, දැං කාලෙ මිනිස්සුන් ගෙ හැටි, තමන්ගෙ නෝනට වත් සලකන්න දන්නෙ නැති උන් ය, කිය කිය!"

කාට කියන්නද බොස් මේ අවනඩු?

මං මේ බඳින්න තියා හිතලවත් නෑ. අක්කම හිතල මං බැඳල නෝනත් එක්ක ගමණක් යනව කියල, ඊලඟට ඒ වැරදි නිගමනය මත පදනම් වෙලා, මට ම හිතෙන් බැණල නෝනට සීට් එක නොදී යන අරුම පුදුම මහත්තයෙක් කියල.

හ්ම්!

-කතන්දරකාරයා

ප/ලි:
දැන් නං මර්ෆි ගේ නියමය මට අදාල නෑ. කතන්දර හාමිනේ ගේ වාසනාව වෙන්න ඕනැ. අත ගහන දේවල් කොච්චර වැරදුනත් -හාමිනේ ගේ එක උපදෙසකින් සේරම හරිගස්සා ගන්න පුළුවනි!

No comments:

Post a Comment